වැව් වල ආක්‍රමණික ශාක ඉවත් කිරීමට ගත් රු.මි. 84කින් මිලදී ගත් යන්ත්‍රයෙන් දින 238ක්ම වැඩ අරගෙන නෑ


දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැව් ආශ්‍රිත ආක්‍රමණික ජලජ ශාක, ගංගා සහ වැව් පොකුණු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 84 ක් වැය කර මිලදී ගත් යන්ත්‍රය දින  238ක කාලයක් නිෂ්කාර්යව පැවැති බව ජාතික විගණන කාර්යාලය මගින් ජනවාරි 31 දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

මෙම යන්ත්‍රයේ අලුතැඩියා කටයුතු සඳහා දින 199ක කාලයක් ගතවී ඇති අතර යන්ත්‍රය ආනයන  කළ සමාගම ප්‍රමාණවත් සේවා සැපයීමක් සහ අලුත් වැඩියාවක් ද කර නොතිබූ බව එම වාර්තාවේ සඳහන් වෙයි.

යන්ත්‍රය මිලදී ගැනීමේදී මේ පිළිබඳ අවධානය යොමු කර නොතිබූ අතර මෙම යන්ත්‍ර මිලදීගෙන 2023 සැප්තැම්බර් 14 වැනිදාට දින 587ක් ගෙවී තිබේ. භාවිත කර ඇති කාලසීමාව පැය වශයෙන් ගත් කල පැය 414 ක් පමණක් බවද අනාවරණය වී ඇත.

යන්ත්‍රය මිලදීගෙන ඇත්තේ දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික තුනේ වැව් 905 ක ආක්‍රමණික ජලජ ශාක ඉවත්කර ප්‍රතිසංස්කරණය කිරීමට සඳහාය. ප්‍රතිසංස්කරණය කර ඇත්තේ අක්මීමන හියාර සහ මාකඳුර ප්‍රදේශයේ වැව් 03ක් බවද එම විගණන වාර්තාවෙන් අනාවරණය වෙයි.



Recommended Articles